_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

වරම්

දැං 
දවස් දෙක තුනක හිට
හන්දියේ 
ටී රූම් එක ලඟ
හැමදාම ඇවිත් හවසට
'මල්ලී..!
චිකන් කොත්තුවක්, පාර්සල් '
කියන්නෙක් ඇත

කොත්තුව
සිලි බෑග් එකක දාගෙන
යන්නෙත්
අපේ ගේ දෙසට

අද හවස
එන මඟ රැක සිට
වැටුනා මම
කතාවට

'අයිය මේ කිට්ටුවද?
මූන හුරු නෑ එච්චර'
මගේ ප්‍රශ්නෙට
ඇඹරුනා ඔහු ලැජ්ජාවට

'ඇයි මල්ලිට මම
බැරිද අඳුනන්නට?
මල්ලිලගෙ වත්ත පාවුල
හල්මිල්ල ගහේ ඉන්න
රුක් දෙවියනෙ මම '

මං
අන්දකයිප්පු විය
'අනේ මගෙ දෙයියෝ
මේ මොකද ,
කිව්වනං හැමදාම මම
දේව දානයක් දෙන්නැද්ද ,
අනික ඉතිං
අපි පිට මිනිස්සුද..
වේලක් ඇර වේලක් හරි
කාල සන්තෝසෙන්
ඉන්න බැරිද '

'අනේ මංදා 
මං හින්ද කරදරේ මල්ලිට
මගෙනුත් 
කෙරෙන්න දෙයක් හෙම ඇත්නම්
කියන්න '
දේව මුඛයෙන්
වචනය පැන්නේය

'අනේ දෙයියෝ
ඔය ඉන්න ගහට
පෝමිට් එකක් දාල
දැං මාස ගානක්
මොකක් හරි ගුලියක් උඩදාල
ඒක ඉක්මං කර දෙන්න '

කුරුසගත ප්‍රේමයක් (හෝ දෙකක්)

රත් මලින් සරසා
සූදානමින්
කල්වාරි කඳු මුදුන
කුරුස දෙක කරතබාගෙන
වැටි වැටී අපි
ඒ දෙසට

තැන තැන
මිනීමල් පිපී ඇත
එමල් මත
ගිජු ලිහිණියන්
පැණි උරත

අපම සිටුවා කුරුස
ස්වයං සූදානමකය
ඇණ ගැසීමට
උනුන් මුහුනට මුහුන
කුරුසගත වූවෙමු
අප දෙදෙන

..... .... ..... .... .... .... .....

දැන්
කල්පයක් ගෙවී ඇත
මුහුනට මුහුන
කුරුසගත වූ පවෙන්
දෑස් දෙස බලාගෙන
පණ පිටින්
අපි තවම

ඩීෆ්‍රීසර්ගත හැඟුමන්

මම
අධි ශීත කුටියක
හිමායන නින්දකට
පත්ව ඇති මොහොතක,
සියුම් ගින්නකින් පෙලිපෙලී
යහන මත 
වැතිරිලා නුඹ

සියුම් අනුරාඟිනිය.!
එවන් මොහොතක
ලං නොවනු මා වෙත
ගිනි රස්නයට
පහව ගියහොත් සිසිලස
පිබිදේවි
නින්දෙන් මම

අහක යන නයෙක් සහ රෙද්ද ඇදි ගැහැණියක්

ගැහැනියක්
මඟ වැටී තිබු
පුරුෂ නිමිත්තක් අහුලාන
ආදරෙන්
රැක බලා ගත්තාය

මතු දිනෙක
එයින් ම
සිහිසන් වනතුරු
දූෂණය වීමට
සැකයක්
පවතිද්දීම

ලිස්සන ගහ

මම
ග්‍රිස් නාගෙන
ගහේ පාමුල

ඇය
මුදුනටම වී
කොඩිය වන වන

මිණි බැදි දොරවල්

දස්කොන්
එපා රැවටෙන්න
ගැහැනුන්ගෙ
මායම්වලට

බොහෝවිට
වදින්නේ සීනුව
හරින විට නොව
දොර
වසන විට

ප්‍රමාදයි 
මිත්‍රයා
එතකොට..!

වෙසක් කාඩ් එකක්

කලකට ඉහත
ඇඹිලිපිටියේ සිට
පාන්දර බස්එකේ
වමනෙ කර කර
කොළඹ ගිය
ඇය

කොහේදී හෝ
කාටහරි හමුවුනොත්
පවසන්න
ලේ කිරි කඳුළු ගෑවුන
වෙසක් පත
ලැබුණු බව
පුතුට



දිනුම

ඇරඹුනා අවසන් වටය
පෙර වට දෙකම
තියුණු ලෙස ජයගත්
සටන් කරුවන් දෙදෙන
පිටිය මැද

එකෙක්
තියුණු පහරදෙන්නෙක්ය
අනෙකා
දක්ෂ මගහරින්නෙක්ය

පහර එල්ලයටය
මගහරින්නාත් තිතට ය,
අවසන
පහරදී පහරදී හතිවැටී
පහරදෙන්නා පැරදින

ජයග්‍රාහකයාට හිමි
කුසලාන බඳෙහි
රන්අකුරින් ලියූ
වැකිය
මෙසේ ඇරඹින
"මෙහි සිටින
...... ...... යන අයව
අද පටන් මාගේ
ස්වාමිපුරුෂයා ලෙස....."

Short cut එකක්

එය
එක හීනෙකින් එළිවූ
රැයකි
කාකයන් වෙනුවට
ගිජුලිහිණීන් මොරදුන්
උදයකි

එක්තරා බෝසතෙක්
සිය පාරමී පිරුම අතැර
පෙරදින
පිඩුසිඟා වැඩි නුවරට
පැමිණියහ

ගෙවුනු රාත්‍රිය පුරාවට
හිස් කබල පුපුරුවා
නහරවැල් කරා දිවගිය
මනබදින සිත්තම්
කෙලි කවට නෙත්කම්
අනුරාගි බැල්මන්
හද දවන කැල්මන්
එක් මිටට ගැනීමට
වෙරදරයි ඔහු

නුවර ,
බොජුන්හල්
නෘත්‍ය හල්
සුරා සැල්
මල් උයන්
පෙම් උයන්
මහා මන්දිර
එකින් එක
එකින් එක
පසුකරන්
පසුකරන්
ඇදෙයි ඔහු

නුවර එක් කෙලවරක
කිරිපලු නුග රුකක් මුල
සාන්තව වැඩ සිටින
බුදු කෙනෙක්,
මතු දිනෙක
තමාගෙන්
නියත විවරණ ලැබීමට නියමිත
මේ කුඩා බෝසතා දැක
පැවසීය මහණුන්ට
"මහණුනි.!
දොස් නොනගනුය ඔහු හට
මතු යම් දිනෙක
ඔහු
නියතවම බුදු වනු ඇත"

සංස්කෘතික පරිණාමය

කාලිංග මාඝ.!
ඇත
එකම එක පුදබිමක්
නුඹට අතපසු වූ

එන්න,
ඇවිත්
සුනුවිසුනුකර යන්න

ඉන්පසු
හැකිය අපහට
යලි ගොඩනගන්නට
එතැනම

සෙල්ලං ගෙවල්

මතකද.?
අපේ සෙල්ලම් ගෙදර
අපි පැටි දවස්වල
වැට මායිමේ හැදුව

කෝටු තුන හතරකට
පොල් අතු හෙවිලිකර
වටේට සාරි ඇද
පන් පැදුර උඩ
තවත් සාරියක් ඔතාගෙන
රෙදි බෝනික්කෙකුත් නලවමින්
හිටියෙ නුඹ

ඔව්, රෙදි බෝනික්කෙක්..!
ඒ අපේ දරුව
ඔයාගෙයි මගෙයි,
එහෙමයි කිව්වෙ අපි
තිබ්බොටු තං ගැටෙන්
කිරි දිදී නුඹ හැදූ
අපේ දරු පැටිය

ආරංචියි සුලෝචනා.!!
දැං ඉන්නවලු නේද
ඇත්තටම දරු පැටව්?
කිරි දිදී නුඹ
වඩනවා ඇති උන්...
ඉතින් සංතෝසයි
ජීවිතේ ඔහොමයි

මමනම් ඉතින් තාමත්
එදා වාගෙමයි
කොස්කොල සල්ලිමයි හොයන්නෙ
සාරියකුත් නෑ
රෙදි බෝනික්කොත් නෑ
ඒත් එහෙමයි කියල
වැඩි දුකකුත් නෑ

හවසට
වැඩ ඇරිල ආවම
ඇදේ ඇලවෙලා
සෙල්ලං ගෙවල් දානව 
හිතෙන් තවම මං...
බෝනික්කො පැටියෙකුත් 
ඉන්නවා ඒකෙ
තිබ්බොටු තං ගැටෙන්
ඌට කිරි දී වඩන
සාරියක් ඇදි කෙනෙකුගේ
උකුලේ නැලවෙමින්



පව්කාර පිංකාරයෝ

මග්දලේනා..!
නුඹට දරුවන් සිටිත්ද?
'එසේය ස්වාමීනී.! '
ඒ දරුවන් හැර
තවත් දරුවන් සිටීද?
'සිටී ස්වාමීනී.! '
ඒ දරුවනුත්
මේ දරුවනුත් හැර
තවත් දරුවන් සිටීද?
'එක් දරුවෙක් ස්වාමීනී.! '

වහා කියව.!
නුඹේ 
පව්කාර කුසෙන් බිහිවූ
ඒ පවුකාරයා කොහිද?

' ඒ 
නුඹ ය 
ස්වාමීනී.!'

කැළැල්..

රත් හඳුන් කත
නුඹේ ගත
සියුමැලි වැඩිය,
බලනු මා දෑත
ගොරෝසු ඝනකම
සියුම් පිරිමැදීමෙන් පවා
සීරේවි නුඹ බඳ

ඉඳින්,
පෙර කැලැල්
යලි පාරවනු කුමට..!

පසේ බෝසත්වරු

මුචලින්ද නාගය,
අර ඈත වීදි කොන
මුරුගසන් වැස්සට තෙමෙන
වීදියේ පොඩි එකා
දැක දැකත්
නොදැක්කා මෙන්
හුඹස්ගතවන්නේ මන්ද?

මතු දිනෙක
කාක බෝධියක් පාමුල
හාමත්ව වැතිරගෙන
ජීවිතේ එක් පසක
එක්තරා සත්‍යයක්
ඌ වටහගනු ඇතැයි
බිඳක්වත් නොසිතුනිද?

උපාය

කොකෝ,
නො ඉද අඩමානෙට
තියාපං අනිත් කකුලත්
නියර පිට

අහා..!
දැන් නම්
කුඩ මසෙකුටවත්
අඳුනන්න බැහැ උඹ

කඩ ඉම

 මා සුරත දැවටෙමින්
මගේ පියවර මතම පැමිණිය
සදාදරණීය මිතුරිය..!
ජීවිතේ වාලුකා
කතර දැන් නිමව ඇත
බොහෝ දුර ගෙවාගෙන
වැටි වැටී යලි වැටී
අප පැමිණ ඇත ඉතින්
බෙදුම් ගංඟාව වෙත

ගඟ දියෙන් එහා බිම
අර නුඹට පෙනෙනුයේ
ප්‍රේමයයි බෝ දෙනා
හඳුන්වන නුවරක්ය
නඳුන්වන් උයනක්ය

ඒ සිහිල් උයනෙ ඇති
සියළු තුරු පිරී ඇත
නෙයෙක පැහැ පුෂ්පයෙන්
මකරන්ද බිඳු දරා
බමරුන්ට අම දෙනා

පෙර කලෙක ඇය සමඟ
ඒ උයන් තීරයෙහි
මල් කිනිති නෙළ නෙළා
පෙම්වත්ව ගතවෙද්දි
නපුරු විස කටු තුඩක්
ඇයටවත් නොදැනෙන්න
ඇගෙ ගතේ වැදී ඇත
ඔඩුදුවා විස ගතේ
මගේ ඇස් ඉදිරිපිට
සිහිසන්ව ඇදවැටුනි
මගේ රන් කිණ්නරිය

ගඟ දියෙන් දෝතක්ම
පොවා සුවපත් කලත්
සිහියලත් විට ඇයට
මා නොහදුනන්නෙක්ම විය

කෙතෙක් සිහිපත් කෙරූ මුත්
ඇගෙ පැරණි මතකයෙන්
නික්ම ගොස් ඇත මෙමා
ඈ එසෙයි පැවසුවේ

එතැන් සිට සිහිසන්ව
තුරුගොමුවෙ මල් අතර
දුවමින්ය ඇය ඇත්තෙ
අදත් ඈ එසේමය
මලක්යැයි වරදවා
වටහගත් බමරයෙක්
තවත් විස පොවපොවා
ඈ අසම දැන් රඟත්

මේ ගඟය මේ තොටය
අප දෙදෙන එගොඩ උනු
ඔරු කඳත් මෙයම විය 

ඔරුව ගං තොටේ ඇත
හබල ඔබ අතේ ඇත
උයනෙ මල් පිපී ඇත
කටු තුඩේ විසත් ඇත