_____________________

colorful ලෝකයේ black & white කවි...

Tuesday, April 2, 2013

යළිත් මා පලායමි..!


අඳුරු මූසල රැය
කළු වලා
සඟවලා තරු එළිය

සියක් ගව් ඈත දුර
පහන් කණු දල්වේ
මහට මඟ නොපෙනේ

හිඳ ගනිමි
අතර මඟ
බොරළු මත

දෑස් අග
දුටුව අවසන් දසුන
තවම තැවරිලා තෙත

නැත
රාහුලෙකු යහන මත
තනිව මිස

කුටිය මැද
පහන් සිල, දැල්ල අග
රඟදිදී මා පෙලූ
මෙරු දෙනක් පමණි ඇය
ජීවිතේ රංගනය
වරදවා රඟයි ඇය

දිගු සුමුදු අඟිලි අග
තෙත ගතිය
හෙමි හෙමින් පහව යත

මේ ගමන
විමුක්තිය ලබන්නට
මරණයෙන් මිදෙන්නට
යාම නොව,
ඒ වියළි දෑත් මැද
දැවි දැවී හිඳින්නට
බැරිය මට
...
..... .
.......... ..
(දුටිමි අවසන් වරට
පොරෝනාවෙන් මිදුනු
ඇගේ නිරුවත් සිරුර)

ඡන්න..!
මේ
රාත්‍රිය සීතලය .... .. .

යළිත් සඳ පායාවි..!


කළු වලාවෙන් වැසේ
මඟ කියන
ඇසළ සඳ

කුටිය කොන
පහන් සිළ
අඳුර දුරු කරන්නට
බිලිඳු බිය නොවන්නට

මෑත්කර බලමි
තිර පට,
කුඩා පුතු
ළමැඩියෙහි හොවාගෙන
සීරුවට
තන පුඩුව
සිඟිති මුවෙ තබාගෙන

ගෙවුනු අඩ දිනට පෙර
දරු වැදූ මවකි ඇය
වෙහෙස
රිදුම් දෙන ඇඟ මස
ගෙන ගොසිනි
ඈ ගැඹුරු නින්දකට.
මා සොඳුර,
බෝ විඩා ඇති නුඹට

තබමි අත
ඇගේ නළලත
හිස නමා
සිඹිමි වත
රිදෙන සිත
බිහිකරන කඳුළු කැට
සඟවගමි
නොවැටෙන්න වුවන මත

රිදුම් දෙයි ඇගේ ගත
විඩාවකි ඇගේ වත

හඬන පුතු - දෝතට ගනිමි
පුතු තෙමූ පිළි - අස් කරමි
උර සළුව ගෙන - ඇඳ එලමි
පුතු තබමි
නැළවෙනාතුරු - පිරිමදිමි


මැඳුර අස, අඳුර මැද
ඇසේ මට
කන්ථකගෙ සුසුම් හඬ
අසල තැන
නිදන ඇය
වෙහෙස මැද
තනිවමය

ඡන්න !
සඳ වැසී වලාවෙන්
අපට මඟ නොපෙනේවි
ගිහින් සැතපෙන්න නුඹ
සඳ යළිත් පායාවි