_____________________

colorful ලෝකයේ black & white කවි...

Monday, July 30, 2012

122 - සසර මැද, අතරමඟ

සිද්ධාර්ථ 
තවම නුඹ 
මුඩුකර නොමැත හිස 
දරානැත කසාවත 
ඉදින් මේ බසය තුළ 
නුඹට අසුනක් නොමැත 

සංසාර මාවත 
බොහෝ අබලන්ව ඇත 
ගැස්සුම්ද පැද්දුම්ද 
නිරන්තර සිදුවෙත 
අතරමඟ ගොඩවන 
අතරමඟ බැසයන 
මිනිස්සුන් තෙරපෙත 
හොඳින් දැකගන්න මේ 
නිමිත්තය පස්වන 

ඔහු තමයි මේ බසයෙ 
සහායක රියදුරුට 
දෙන්න මේ කාසි මිට 
අරගන්න ටිකට් දෙක 
නැත කුමර අප යන්නෙ 
නෙරංජා තෙර දෙසට 
ඇඹිලිපිටියට කියා 
අරගන්න ටිකට් දෙක 

...................................................... 

ළය පැලී මියගියා 
කන්ථකද කොළඹ මැද 
ඉදින් මේ බසය මිස 
වෙන මඟක් අපට නැත

-නිවන් දොර-

ම'පුත රාහුල
මේ
දුක නැතිකරන මඟය

මෙතැන් සිට
අඩි දෙසීයක් ගියතැන
පර්චස් හතක් ඇතුළත
හමුවේය නිවන් දොර

ඒ නිවන දොරකඩ
බලන් ඇති නුඹේ මව
අප දෙදෙන එනතුරු
පිටදී උළුවස්සට
නැතිනම්
හිඳගෙන දොර පඩිය උඩ

නුඹව නහවන්නට
උණු වතුර හදා ඇති
මා වෙහෙස නිවන්නට
කේතලේ ලිපේ ඇති

දුටුගමන් නුඹේ වත
දිවවිත් පෙරමඟට ඇය
අසයි නුඹගෙන්
"තාත්තට සැර දැම්මද ?
සෙල්ලම්බඩුත් ගත්තද !
කෝ, චොකෝ කෑවද?
අම්මිටත් ගෙනාවද ? "

ඉතින් පුත,
දැන් මා අතින් බැස
එල්ලී සුළැඟිල්ල අග
සිඟිති පා තබා යමු
මේ සොඳුරු මඟ දිග

Thursday, June 14, 2012

සිදුරු

හඳ එළිය
උළු මූට්ටුවකින්
ගෙට පනින

හැළි වළං ඇර බලන
ඇයි නොකෑවේ අහන
කොච්චි සම්බෝලක්
කොටා දෙන්නම් කියන

කෝ කොස්ස? සැරදාන
කාමරේ අතුගාන
කිලිටි කමිසය අරන්
රවා මා දෙස බලන

බිත්තියේ ඇලවූව
රූප වෙත නෙත්යොමන
මේ රැවුල් කාරයන්
කොහේ ඉන්නෙද අහන

සයනයේ කොනක හිඳ
සෙමෙන් හිස පිරිමදින
නින්ද මා වෙත ගෙනෙන
මන්තරය ජපකරන

වහලයේ උළු අතර
බොහෝ ඉඩ කඩ තියෙන
ඒ හිඩැස් කිසි දිනෙක
වසන්නට නොම සිතෙන

Monday, May 21, 2012

තවම දොරඟුළු හැරෙත

එන්න අපි හඬමු,
ඒ මැරුණු අතීතය
පයේ මහපට ඇඟිල්ලෙන්
හාර හාරා තැවෙමු

උනු වැරදි අත්හරිමු
'ඉවසුවා නම්' කියමු
ආයෙ දවසක මේ ලෙසින්
හමුවුණේ ඇයි අසමු

දෑත් පටලා ගනිමු
'වැරදි' යැයි අත් මුදමු
'කමක් නෑ මේ අපිමනේ'
ආයෙමත් අත් ගනිමු

'ඔහු හොඳයි' ඔබ කියාවී
'ඈ මවක්' මා දොඩාවී
ඒ නමුත් කම්මුල් මතින්
වියලි කඳුලක් ගලාවී

මද'ඳුරේ පංකාව කැරකෙනා
සුළං රැල් අතීතය කළඹනා
හාඳුවෙන් පටන්ගෙන ඇරඹෙනා
වෙනස් වී නැත කිසිත් තේරෙණා

ඉගිල්ලේ කැටකිරිල්ලී

දෙගල් අතරේ බිජුව ලා
හඬන්නී කැටකිරිල්ලී

කුඩා හොටයක් දරන්නී
ඉන් ගලට ඇන බලන්නී
දැන් බිදෙයි දැන් බිදෙයි සිතමින්
තුඩ ගෙවෙනතුරු කොටන්නී

සැඳෑවේ ඇස් හරින්නී
දිවාකල ගැන නොදන්නී
තරු එළිය හා තටුසලා ගොස්
කොහේ හෝ රෑ ගෙවන්නී

තරු නිවෙන විට හඬන්නී
හඬා ගල වෙත ඇදෙන්නී
හිතේ පැහැවන දුක නිවෙන තුරු
යළිත් ගලටම කොටන්නී

ගල බිඳින මන්තරය නොදන්නී
යකුළු පහරක් පතන්නී
යකුල්ලේ මිට මත පා තබා
තටු ගසා ඔසවන්න සදන්නී

බිජුවෙ හිමිකම දරන්නී
එහෙත් අහිමිව හඬන්නී
බිජුව පෙන්නා ඈව රවටන
යකුළු ඇත්තන් සිටින්නී

චන්දරේ

මේ කවිය උඹ ගැනය
ඒ උනත් දැන් උඹට
කියවන්න නම් බැරිය

එකේ පන්තියෙ චන්දරේ
අටේ පන්තියෙ චන්දරේ
නමේ පන්තියෙ අකුරු බැරිවී
ආමි ගිය අපෙ චන්දරේ

වෙසක් එකට උණපතුරෙන් පැටව්කූඩු හැදූ
පිරිත් ගෙදර මණ්ඩප්පෙට ගොක්කොල වැඩදැමූ
එගොඩ වෙලේ ලියදි දෙකක බෝංචි කොටු වැවූ
උඹේ අතට තුවක්කුවක් උනේ කොහොම හුරූ

හිංදි පිච්චර් සිංදු කෑලීම කියා නැටුවේ ඒ කලේ
පුහුණුවෙන් පසු ගෙදර ඇවිදින් සිංදු අමතක වූ වෙලේ
ආමිකැප් ටී ෂර්ට් බෙදමින් උජාරුවකින් අපි ලඟේ
ටී පනස්හය ආර්පීජී ග්‍රෙනේඩ්ගැන කිව් චන්දරේ

'ගේ හදලා ඉවර වෙලා අපි බඳිමුකො සුදූ'
කන්දෙ ගෙදර නන්දනීට ලියුං කෑලි ලියූ
තවෙකෙක් නහන්නට පැතුමක් තුන්හිතේම නොවූ
තුවක්කුවෙන් වෙඩිතිබ්බේ දූගී කමට ඔහූ

නිවාඩුවකට ආ වෙලේ
උඩහ වැව ලඟ බන්ටෙකේ
ලඟින් ඉඳගෙන ඈත බලමින්
'සුවර් නෑ බං' කියලා ගියේ

දෙසතියයි ඉන් පහු උනේ
බ්ලාස්ට් එකකට අහුඋනේ
සීල් ඇලවූ පෙට්ටියක් තුළ
කකුල් අටකින් පැමිණුනේ

වෙඩිතබා රණබෙර වයාලා පොළොවෙ සැඟවූ චන්දරේ
මතක්වෙනකොට වාවන්නෙනෑ පපුවෙ ඇවිලෙන ගින්දරේ
මේ සොහොනයට නිදන මිනිසෙකි තවම හදවත පණගැහේ
ලාන්ස්කෝප්‍රල් පී.ආර්.සී.චන්ද්‍රසිරි අපෙ චන්දරේ

Friday, May 4, 2012

ඉලාස්ටික්

මාල හතට පෙම් බඳිනා
හීන හතක් මැද
ආල වඩන පාට ඉහුන
නගරේ කෙලවර
පාට පාට විදුලි බුබුලු
නිවි නිවි දැල්වෙන
ආනපානසති පැටලුන
පෙනහැල්ලක් ඇත

රෑට රෑට ඉහ ඉද්දර
බස් නෑසෙන විට
ගාට ගාට ආපසු යයි
පාට හීන මිට
කාට කීව මුත් නැතිනම්
සිපගැනුමක් තෙත
සී සී කඩ විසිරී යයි
මාලේ මුතු ඇට

අංගපුලාවක් නැතිනම්
පොඩි රමණෙක වුව
අංග ඡේදනය වේමැයි
සිතේවි නෙකවර
ලිහී ඉරිණු අතහැර දැමු
තිසර පටක වුව
කිසිම දිනෙක මැකිය නොහෙන
අතිතයක් ඇත

Thursday, May 3, 2012

එකමත් එක කාලෙක...

වක්ක ගැහුණු හඳ පාමුල
හුජ්ජ ගඳ ගහන පාරක
ඉල්මහේ ඔසප් දිනයෙදි
සත්‍ය තිබුණාලු දැවි දැවි

තුවක්කු කටකින් විසිවෙන
පුරුෂ ධාතු වරුසාවෙන්
වඳපීදුන දරු බොක්කක්
ගැබ් ගැන්වී ඇත මහතුණි
අයිය ගියා රෑට කන්න
පාං දෙකක් අරන් එන්න
එනවා මහ වැහි වහින්න
අයියෙ හනික ගෙදර එන්න

Tuesday, April 10, 2012

සරදියෙල් නම් සිරකරු

යකඩ දොර මරාගෙන
කළුවරත් ඉරාගෙන
කෝපි මල් පුසුඹ මට දැනෙනවා
ඉර එළිය ඇබින්දක්
හොරෙන් මම හොයාගෙන
නුඹේ රුව කළුවරේ අඳිනවා

ඔය ළමැද සීරුවට
හිස රැන්දු වෙලාවක්
දෑසමානේ තාම පේනවා
ඇත්තමයි මේනකා
ඒ වගේ වෙලාවට
ගල්බිත්ති වලත් තෙත දැනෙනවා

කන්ද කෙලවර කෝපි වත්තක
ළපටි දල්ලක් පොඩිව රතුවුණු
හැන්දෑව මට මැවෙනවා
සත්තමයි මේනකා
දෑතෙ ලූ දම් වැලෙත්
කෝපි මල් පිපෙනවා පේනවා

මේනකා නුඹ හඬනවා
ඒ හැඬුම් මට දැනෙනවා
මං ඉර ඇබින්දක් හොයනවා

Wednesday, March 21, 2012

එක් සත්‍ය කතාවක්.. .

ස්ථානය:-
කොළඹ නගරයට නුදුරු තැනක්

දිනය:- 
2010 පොසොන් මස දිනයක්

වේලාව:- 
නැවතී ඇත

මුඛ්‍ය චරිත:-
තමන් මනමේ කුමරු යැයි සිතූ තරුණයෙක්;
ඒ අනුව, කුමරිය සහ වැදි රජු

මෙතෙක් කතාව:- 
කුමරු අත අසිපතක් නැත. වැදි රජු පෙර සූදානමින් සැගවූ කඩුවක් මැයි මාරා ගස් බෙනයකින් ගෙන කුමරිය අතට දෙයි. සිදුවීමට යන දේ වලක්වාගැනීමට නොහැකියෙන් කුමරු නිසලව සිටී.
කුමරිය බොහෝ සෙමෙන්, ඉතා මෘදු ලෙස කුමරු හට අසිපතින් අනී. වේදනාව අඩුකරනුවස් ඇය කුමරු හට සඳකිදුරු දා කවෙහි කවි ගායනා කරයි. කුමරු සෙමෙන් දෑස පියාගනී. වැදිරජු ඉකිබිදී. කුමරිය නිහඩව සිටී.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
(පැය 13කට පසු)

ඔහු මැරුණෙ නැත
කඩු පහර
ලේ පීලී ගැස්සුවද
සිහිය තොර වූ මිසෙක
මියගියේ නැත

කුමරිය
වැදි රජු ද සමඟින
සිරුර හැරදා
ඈත ගිය පසුව
සිහින් පොද වැසි
වැටී මුහුනට
මදින් මද
සිහි ලැබේ කුමරුට

සුරතින් වසාගෙන කඩුවෙන් කැපුණු තැන
ඩෙනිමෙන් ඉරාගෙන පටියක් සීරුවට
වෙලා තුවාලය නවතා ගලන ලෙය
කුමරුන් ගොඩවුනා දුර යන බසයටක 

අසංස්කෘතිකයාගේ කවිය

මම
ඔබව
සිපගනිමි


ඈත් මෑත් බලා
කිසිවකුත් නොදකිනා ලෙස නොව
දෙනෝ දාහක් සෙනඟ මැද
බොහෝ උන් ඇස ගැටෙන ලෙස


ලැජ්ජා නොවනු මැන
ඒ සියළු මිනිසුන්
තවත් පියවර පහක් ගියතැන
අපව අමතක කරනු ඇත
නොමැති නම්
නොදුටු ලෙස සිටිනු ඇත

Sunday, February 26, 2012

අබිනික්මන...

යසෝදරා !
මේ නුවර අතහැර
අපි යමු ඈත ගමකට

මේ රම්‍ය මාලිගය
සිරගෙයක් වගෙයි මට
ගී සින්දු ගායන
රැඟුම් නෙක නාටක,
සුදු අතුල බිත්ති මත
පුස් ගදක් දැනේ මට

තාත්තා
දැන් ඔහොම කීවට
කියාවී පසුවට
"මේ ගේ බාලයට"
ඇරත්
ඒ තමයි පිළිවෙල

දන්නවනේ යසෝදරා !
මගේ ඇල්මක් නොමැත ඒවට
ඉඩකඩම් ගේ දොර
බැමි පමණි සසරට
තවත් කල්පයක්
ඉපිද මැරෙණට

ඉතින් අපි යමු ඈත ගමකට
කන්ථකත් දක්කගෙන.
ඡන්නවත් එක්කගෙන..
පුතාවත් වඩාගෙන...

Thursday, February 2, 2012

ඕ සිතා නම් විය..

දුටු මතින් මා හැගුම් මෝරනා
රැවුල සිදදාලන්න රාවණා

පතිනියකි මහිමි හා තුටුවුණා
වෙන අයෙකු සිහිනෙනුදු නොදකිනා

රාම නෑ දැන් මෙතැන මා අසා
නුඹය දෑන් ගැටෙනුයේ මා ඇසා

පතිනි බව සිත් පුරා රකිමිනා
ඒ නමුත් නුඹ වතින් මත්වුනා

දින ගනන් නුඹම හා ගතවෙනා
මා නෙතට නුඹ කෙමෙන් හුරුවෙනා

දුටු මතින් මා හැගුම් මෝරනා
රැවුල සිදදාලන්න රාවණා


ඇන්ටිගනී

සදාදරණීය සොයුරිය !
දේසද්‍රෝහීව මියගිය
පොලිනියස් නොවේ මම


එක්දහස් එක් කලෙක
ලේ ගැලූ ඉල් මහෙක
රතු කමිස ඇගලුයෙන්
නව ලොවක් පැතූයෙන්
පන්සලේ මායිමේ
නළලිඳේ බැඳදමා
හෙණ හඩින් වෙඩිතබා
හිස් කබල පිපිරවූ
කිසිවෙකුත් නාදුනන
මළ සිරුරකිය මම


තවත් සුළු මොහෙතකින්
කාකයන් ඇදී එයි
කැනහිලුන් ඉරා කයි
ගිනිතබා දවාලයි


සොයුරියේ සොයුරියේ !
උන් ඇදී එන්න පෙර
එදා මෙන් නැගීසිට
නොමළ මළ සිරුර මත
දමනු මැන පස් මිටක්