_____________________

colorful ලෝකයේ black & white කවි...

Monday, May 21, 2012

තවම දොරඟුළු හැරෙත

එන්න අපි හඬමු,
ඒ මැරුණු අතීතය
පයේ මහපට ඇඟිල්ලෙන්
හාර හාරා තැවෙමු

උනු වැරදි අත්හරිමු
'ඉවසුවා නම්' කියමු
ආයෙ දවසක මේ ලෙසින්
හමුවුණේ ඇයි අසමු

දෑත් පටලා ගනිමු
'වැරදි' යැයි අත් මුදමු
'කමක් නෑ මේ අපිමනේ'
ආයෙමත් අත් ගනිමු

'ඔහු හොඳයි' ඔබ කියාවී
'ඈ මවක්' මා දොඩාවී
ඒ නමුත් කම්මුල් මතින්
වියලි කඳුලක් ගලාවී

මද'ඳුරේ පංකාව කැරකෙනා
සුළං රැල් අතීතය කළඹනා
හාඳුවෙන් පටන්ගෙන ඇරඹෙනා
වෙනස් වී නැත කිසිත් තේරෙණා

ඉගිල්ලේ කැටකිරිල්ලී

දෙගල් අතරේ බිජුව ලා
හඬන්නී කැටකිරිල්ලී

කුඩා හොටයක් දරන්නී
ඉන් ගලට ඇන බලන්නී
දැන් බිදෙයි දැන් බිදෙයි සිතමින්
තුඩ ගෙවෙනතුරු කොටන්නී

සැඳෑවේ ඇස් හරින්නී
දිවාකල ගැන නොදන්නී
තරු එළිය හා තටුසලා ගොස්
කොහේ හෝ රෑ ගෙවන්නී

තරු නිවෙන විට හඬන්නී
හඬා ගල වෙත ඇදෙන්නී
හිතේ පැහැවන දුක නිවෙන තුරු
යළිත් ගලටම කොටන්නී

ගල බිඳින මන්තරය නොදන්නී
යකුළු පහරක් පතන්නී
යකුල්ලේ මිට මත පා තබා
තටු ගසා ඔසවන්න සදන්නී

බිජුවෙ හිමිකම දරන්නී
එහෙත් අහිමිව හඬන්නී
බිජුව පෙන්නා ඈව රවටන
යකුළු ඇත්තන් සිටින්නී

චන්දරේ

මේ කවිය උඹ ගැනය
ඒ උනත් දැන් උඹට
කියවන්න නම් බැරිය

එකේ පන්තියෙ චන්දරේ
අටේ පන්තියෙ චන්දරේ
නමේ පන්තියෙ අකුරු බැරිවී
ආමි ගිය අපෙ චන්දරේ

වෙසක් එකට උණපතුරෙන් පැටව්කූඩු හැදූ
පිරිත් ගෙදර මණ්ඩප්පෙට ගොක්කොල වැඩදැමූ
එගොඩ වෙලේ ලියදි දෙකක බෝංචි කොටු වැවූ
උඹේ අතට තුවක්කුවක් උනේ කොහොම හුරූ

හිංදි පිච්චර් සිංදු කෑලීම කියා නැටුවේ ඒ කලේ
පුහුණුවෙන් පසු ගෙදර ඇවිදින් සිංදු අමතක වූ වෙලේ
ආමිකැප් ටී ෂර්ට් බෙදමින් උජාරුවකින් අපි ලඟේ
ටී පනස්හය ආර්පීජී ග්‍රෙනේඩ්ගැන කිව් චන්දරේ

'ගේ හදලා ඉවර වෙලා අපි බඳිමුකො සුදූ'
කන්දෙ ගෙදර නන්දනීට ලියුං කෑලි ලියූ
තවෙකෙක් නහන්නට පැතුමක් තුන්හිතේම නොවූ
තුවක්කුවෙන් වෙඩිතිබ්බේ දූගී කමට ඔහූ

නිවාඩුවකට ආ වෙලේ
උඩහ වැව ලඟ බන්ටෙකේ
ලඟින් ඉඳගෙන ඈත බලමින්
'සුවර් නෑ බං' කියලා ගියේ

දෙසතියයි ඉන් පහු උනේ
බ්ලාස්ට් එකකට අහුඋනේ
සීල් ඇලවූ පෙට්ටියක් තුළ
කකුල් අටකින් පැමිණුනේ

වෙඩිතබා රණබෙර වයාලා පොළොවෙ සැඟවූ චන්දරේ
මතක්වෙනකොට වාවන්නෙනෑ පපුවෙ ඇවිලෙන ගින්දරේ
මේ සොහොනයට නිදන මිනිසෙකි තවම හදවත පණගැහේ
ලාන්ස්කෝප්‍රල් පී.ආර්.සී.චන්ද්‍රසිරි අපෙ චන්දරේ

Friday, May 4, 2012

ඉලාස්ටික්

මාල හතට පෙම් බඳිනා
හීන හතක් මැද
ආල වඩන පාට ඉහුන
නගරේ කෙලවර
පාට පාට විදුලි බුබුලු
නිවි නිවි දැල්වෙන
ආනපානසති පැටලුන
පෙනහැල්ලක් ඇත

රෑට රෑට ඉහ ඉද්දර
බස් නෑසෙන විට
ගාට ගාට ආපසු යයි
පාට හීන මිට
කාට කීව මුත් නැතිනම්
සිපගැනුමක් තෙත
සී සී කඩ විසිරී යයි
මාලේ මුතු ඇට

අංගපුලාවක් නැතිනම්
පොඩි රමණෙක වුව
අංග ඡේදනය වේමැයි
සිතේවි නෙකවර
ලිහී ඉරිණු අතහැර දැමු
තිසර පටක වුව
කිසිම දිනෙක මැකිය නොහෙන
අතිතයක් ඇත

Thursday, May 3, 2012

එකමත් එක කාලෙක...

වක්ක ගැහුණු හඳ පාමුල
හුජ්ජ ගඳ ගහන පාරක
ඉල්මහේ ඔසප් දිනයෙදි
සත්‍ය තිබුණාලු දැවි දැවි

තුවක්කු කටකින් විසිවෙන
පුරුෂ ධාතු වරුසාවෙන්
වඳපීදුන දරු බොක්කක්
ගැබ් ගැන්වී ඇත මහතුණි
අයිය ගියා රෑට කන්න
පාං දෙකක් අරන් එන්න
එනවා මහ වැහි වහින්න
අයියෙ හනික ගෙදර එන්න