_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ

නේරංජනේ
ගලයි උඩු අතට
බොර කරන් ගං දිය
මහා හඩ නංවගෙන

ළය පැලී මිය ගිය
අසෙකු දක්නට නැත
කපා හල කෙස්සක්
තැනින් තැන විසිර ඇත

සුජාතා කෝ නුඹ?
ඇයි මෙලෙස මගහැර ?
නේරංජනා තෙර වෙත
නුඹෙ තලිය රැගෙන එව

දූවරුන් නවතා
මාර පුත් සපැමින
පුරුස මස්ගොබ උලුප්පා
දූෂණයකට සැරසෙන

වෙසක් සඳ පායා
රක්ත වර්ණව ගිනිගෙන
සොමිකැළුම් නවතා
ගිනි දළු එවා හිනැහෙන

තිස්තුන්කෝටියක් දෙවිවරු
සක්වල ගලෙන් පැනගෙන
කඩු සිපත් පිහි ගෙන
මරා දැමුමකට සැරසෙන

මේ විසල් මිහිකත
ඔසප් වී දගලන
රත් පැහැති ලේ ගඟුල්
තැනින් තැන මතුවෙන

මෛත්‍රී බෝසතුණි
මේ වරත් ඉවසන්න
කොතෙක් වලකාලුවත්
ඇගේ බුදුබව නියතය

Pending

එක් පුරුෂ ධාතුවක්
වෙඩි වේගයෙන්
ගර්භාෂ ගතවන්න 
දිවයන

සියක්දහසක් ජීවිත
දිවි අතැර යාමට
මගක් සොයනා
අතරතුර

කායානුපස්සනා.!

ඇඩොල්ෆ් හිට්ලර්
ඔයාකාරයට නොව
මෙයාකාරයට හිඳගන්න

බාවනා කරනකොට
බයිනෙත්තු කඳවගේ
පිට කොන්ද ඍජු වීම
වැදගත්ය



Mr.ජිනදාස

නන්දා මදක් නවතින්න
අඳුනගන්නට බැරිද මම
මළැයි මෝචරියෙදී රැවටුන
සිංහලේ ගිය ජිනදාස මම

බතල මයියොක්කා පිපිඤ්ඤා
වවවවා හිද වෙහෙස වී මම
කොළොම් පුර නැව් තොටෙන් හවසක
නැව් නැගිමි පිටරටක යාමට

සරම ගලවා කලිසමක් හැද
ඇපල් වත්තක වැඩ කෙරූවෙමි
යනවිටදි නාමල් පුදන්නට
රහ බැලූවේ මා නෙළූ ගෙඩි

සිංහලේ ගිය ජිනදාස මම
ඇපල් වත්තක හිමිකරුය දැන්
ෆෝනෝට්ෆෝ කාරෙකක නැඟ
කැන්දයන්නට ආමි නුඹ අද

කඟපතක් මත පෙමක්

ආනන්දනීය ප්‍රේමය..!
අමන්දානන්දයට පත්කර
මා දිළිඳු හදවත
කඩුතුඩක රැන්දූව

එම්බා..!
ප්‍රේමයට අධිපති දෙවඟන
මඳක් බලනුය මේ දෙස
නුඹ අතැති
ලා රෝස පැහැ පුෂ්පයන්
පිපී ඇත
මා සොහොන මත

නෙලා ඒ මල්
තබනු ඈ දෝත මත
රිසි ලෙසින්
වරලසෙහි ගවසන්න හා
කැමති පුදසුනක් මත ලන්න

එක්තරා උයනක්,සවලක් සහ මිනිසෙක්

මං
විරූපී
සොහොන්පල්ලෙක්


මිනිත්තුවකින් මියයන
සුරූපිනියක්

අස්ථානගතකල නිමිත්තක්

සොඳුර,
මේ
රැළේයන සමයයි
ප්‍රේමය..

සොහොන්පල්ලා වෙමි මම
සාධු සම්මත ලෝකයක
මරා දැමුවෙක් රකින
අසම්මතයේ
කඩු පහර වැද
අංඟ ඡේදනය
වී හිඳින

මීට කලකට ඉහත
නුඹේ දෙන තුළ සිරකල
මගේ සුරතාන්තය
සොයා වෙහෙසෙමි 
තවම මම

අද පටන්, සත්‍ය බහුවිධය

එන්න,
තිඹිරි ගෙයි දොරින්
බැලුවාට කම් නැත
ගෞරවණීය ලෝකයේ
රහස් නුඹ දන්නෙ නැත

නොබසින්න ඔය ගඟට
පින්බර සුදනුන්ගේ
කිළිටි දෝවනය කර
ඕජස් සැරවයන් 
මුහුව ඇත දියට

අතට ප්‍රීති කොපු දමා
කටු පදුරු වල පවා
මල් නෙලන
සුසුදු පිරුවට හැදන්
එමල් පුදසුන් මත තබන

සියළු සත්‍යයන්
තනුක කොට 
වැද්දන්ට බණ දෙසන
හුදීජන
පහන් සංවේගයෙන්
සාධු රාවය නඟන

ගතේ පතිවත දරන්
සිහිනෙනුත් දූෂණය වන
සඳ එළිය වැටෙන තැන් බලබලා
ජනෙල් තිර මෑත් කර තබන

අන්සබාගික විනිසුරන්
සාධු සම්මත රකින
ඇස් වපරයැයි කියා
නිරෝගී හිත් එල්ලා මරන

හකු කොනක බුදුරැස් තියා
අනෙක් හක්කෙන් දඩමස් හපන
දුන්න හාවාටම මානා
විද්දෙ පඳුරමයි කියන

දැන් උපන් බිළිඳ
හැකිනම්,
සාමදානයේ සැතපෙන්න





රේල් පීල්ලක් මත පෙමක්

ගැබ්ගත් දුම්රිය මැදිරියක්
විලිවැදී දඟලන,
එංජිම
එය රැගෙන වේගයෙන්
තිඹිරිගෙය සොයා දිවයන

මේ අසුන
අප වෙනුවෙන්ම වෙන්කල,
මා සුරත යට
නුඹේ කුස මෝරා එන

කවි පද එකින් එක
ගර්භාෂ බිත්ති මත ලියමින
නුඹේ මස - මගේ මස
නුඹේ කුස තුළ මියැදෙන

මොණරි දඩයම

මිත,
මේ වැටුනු සිකි පිල
වැස්ලීන් පුසුඹය..
නුබේ පය
ඉතා බුරුලෙන් තබව.!

අප
දඩයමට
කිට්ටුය

කඩුවක් හා කොපුවක්

පුංචි ඔසරිය.!
ඔන්න
ලිහී යනවා
ඉඟ නෙරිය

මේ ඇඹුල
ස්ට්‍රෝබෙරි ගෙඩිය
තවටිකක් ඉඳුනානම්
මොකද.!

කෝ නුඹේ අත.!
පෙන්නන්න මට
මේ හරස් රේඛා
මෙහෙම වේවිද හැමදාම?

එපා නිල්වන් සයුරුගැඹ.
එන්න, 
මා එක්ක පදවන්න
හංස බෝට්ටුව
කුණු ඇළක

පළමු සිහිකැදවීමයි.!

එම්බා
කාව්‍යාධිපති දෙවඟන.!,
සළු පොට මෑත් කර
සුසුදු බඳ 
මා හටම පෙන්වන

ඒ කිරිගරුඬ රූපය
සිපගන්න
මා දිව එනා විට,
මහ බරැති 
කළු රෙදි කඩක් තුළ
නුඹ සැඟවෙත

දෙව් දුව..!
මගේ ඉවසීම
සීමා සහිතය

වඩට බා දිය

නපුරු රළ
දියඹ සිට දිව එන
'චටස්' ගා
කම්මුලට ගසා පැනයන

හීතලම කඳුලක් වැටෙන
කරදියට මුහුව
දියවෙන

මහමුහුද දෝතින්ම ගෙන
ඇඟිලිකරු අතරින් පෙරෙන
දිවතුඩේ බිඳුවක් තබා
කරදියේ පැණි රස සොයන

තැන තැන සඳ

නුඹේ සඳ
මල් විලෙක

මගේ සඳ
ගල් වලක


සන්නාලි පෙම

මම
ඉරීගිය
කඩමාළු රෙදිකඩ

සිහින් තුඩ ඇති
රිදී ඉදිකටුව
ඇය