_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

පළමු සිහිකැදවීමයි.!

එම්බා
කාව්‍යාධිපති දෙවඟන.!,
සළු පොට මෑත් කර
සුසුදු බඳ 
මා හටම පෙන්වන

ඒ කිරිගරුඬ රූපය
සිපගන්න
මා දිව එනා විට,
මහ බරැති 
කළු රෙදි කඩක් තුළ
නුඹ සැඟවෙත

දෙව් දුව..!
මගේ ඉවසීම
සීමා සහිතය

වඩට බා දිය

නපුරු රළ
දියඹ සිට දිව එන
'චටස්' ගා
කම්මුලට ගසා පැනයන

හීතලම කඳුලක් වැටෙන
කරදියට මුහුව
දියවෙන

මහමුහුද දෝතින්ම ගෙන
ඇඟිලිකරු අතරින් පෙරෙන
දිවතුඩේ බිඳුවක් තබා
කරදියේ පැණි රස සොයන

තැන තැන සඳ

නුඹේ සඳ
මල් විලෙක

මගේ සඳ
ගල් වලක


සන්නාලි පෙම

මම
ඉරීගිය
කඩමාළු රෙදිකඩ

සිහින් තුඩ ඇති
රිදී ඉදිකටුව
ඇය

පර මල් පෙත්තක්

සීත හිම අරණ
පිස හමන මඳ සුළඟ
කොහේදෝ දුරක සිට
මෙ මල් පෙති රැගෙන එත

මඳ සුළඟ නවතින්න
බිඳුවකට මෙහෙ එන්න
ලා රෝස පැහැගත්ත
මේ සිඟිති මල් පෙත්ත
කොහෙන්දැයි පවසන්න

බමර විත වැදී ඇත
හොදටෝම රිදී ඇත
ආදරේ කැටි ගැහුන
මලේ කඳුළක හැඩය
තවම පෙති මත ඇදී ඇත

සිහිනයක් කැන්දනා
ආදරේ හැංගුනා
සීත වන රොද තනිව සරනා
හැඟුම් මියැදුනු සිතක් සොයලා
මලක පෙත්තක් පාවුනා

මලක් මත පෙමක්.

පුංචි හැන්දෑව.!
හරි හැඩයි නුඹ අද
ගල් බංකු නම්
ඉතා අකැපයි මට
ඔය කෝල ඉරියව්
හුරුවෙන්න හොඳ නැත
බොහෝ දේ
මඟහැරෙන්නට ඉඩඇත
වැටුනු මල්
ඇති තරම් පාගන්න
සෙරෙප්පුවෙ
මල් කහට ගෑවෙන්න

කැකුළු මල්
පිපෙන්නට නියමිත
පිපුනු මල්
වැටෙන්නට නියමිත

අළුත ගෙනා මනමාලී.

වහං වෙනවද
දොර රෙද්ද පිටුපස
මල් තුවක්කුවකින්
වෙඩි තියන්නට
අත ගිගිරි නාදයට
සාක්කුව හිස්වෙන
උළුවස්සෙ මරුවැලක්
හිමි හිමිං ගැස්සෙන
කතුරු ඔන්චිල්ලාව
හතරැස්ව පැද්දෙන
තුන් සරනෙ කියන්නට
යටි උගුර පාදන

මං කියන්නං දෙයක්
පුංචි හිත ගැස්සෙන,
මේ කටුව ගැලෙව්වොත්
ඔසරියක් බිම හෙන

නිදිවරා කවි ලියන සින්ඩරෙල්ලාට..!

සින්ඩරෙල්ලා.!
දැං ඉතින්
හැඩීමෙන් පල නැත
සපත්තුව
පැලදීම ගුණ නැත
කකුල් වල
දියපට්ට ඒමට ඉඩ ඇත

කෝකටත්
හුළගෙ යනවිට ඔසරිය
අල්ලගන්නට කෙනෙක් අවැසිය.
ඒත්,
වැඩි සුදුසුකම් අනවැසිය
වැඩි වැටුප්
ඉල්ලන්න ඒවිය

ජීවිතේ
මහාලොකු දිග නැත
ඕනිනම්
කෝච්චිය තරම් දිග ඇත
උදේ හවහා
එක ඉස්ටේසමෙන් ගොඩවෙන
පහුවදාටත්
එහෙම්මම සිදුවෙන
ආයෙමත් පහුවදා
ආයෙමත් ගොඩවෙන,
ආයෙමත්...
ආයෙමත්...
ආයෙමත් ගොඩවෙන,
එහෙම බැලුවහම
ජීවිතේ
සිල්පරං කොටයක් තරම්වත් නැත


(ප.ලි. - සින්ඩරෙල්ලා..!
දන්නෑ නුඹ,
කවියන්ට
කුමක් හෝ සුන්දරලු
හැම ගැහැනියක්ගෙම...)

ඈ හෝ මා හෝ ගංඟා හෝ

කළු ගඟ,
ඇත
කියන්නට කාරනාවක් මට
මදක් නැවතී පාලමේ යට
බිඳක් දොඩමළු වෙමුද මා මිත

දන්නවා මම
කිසි දිනෙක බැහැ
නගින්නට කන්දක් ගඟකට
නමුදු හිතවත
හැරී මෙතනින් ඉහලට
යා යුතුය නුඹ
කන්ද උඩරට

නුවර වැව අස, බංකුවක් මත
යුවතියක් ඇති මනාලියකව
ගන්න මා මිත, මේ ඇගේ හිත
ගිහින් එය යලි දෙන්න ඇය හට





පැපොල වැලදුන ප්‍රේමය

ඇය
නලිනි නම් දේවිය

මම
ඉසිදින්න තාපස

ඉලුක් කදු

මේ
ඉලුක් කදු 
ගිනිගන්න කාලය

පුංචි කඳු
ළසෝ ගින්නෙන් ගිනිගෙන
සතියකින්
තෝර පැල පැලවෙන.
ඉලුක් බූටෑව
සුලගටත් නැලවෙන
ඇග පුරා
කිතිකවා කස්සන

කන්ද උඩ
හූ බටය නද දෙන
වැරදි පය
මරු වැලක් ගස්සන.
මොණරු හරි හරියට
මහ පොලව කොටමින
වස කඩේ රාක්කියෙ
බීජ ඇට හොයමින

කමිස වල
කෙහෙල් කිරි වට්ටන
කිරිපාට ලොරි ඇවිත්
පෝලිමේ හිනැහෙන

දෙල්කද පොලේ
කෙසෙල් ගෙඩි වලදන
පිංවන්ත සුදනුනේ
නොදැනේද
ඉලුක් අළු රස..





මුරගල

නුඹ,
මගේ හිත රකින
මුරගල

මැදුරු දොර
අගුළු ලා තරකර
පා සලඹකට
ඇතුළුවන්නට නොදෙමින

හිත් මැදුර තුළ
රහස් උමගෙහි
පා ලකුණු ඇස නොගැටුන
දොර රකින පොඩි මුරගල





අනාරාධිත ප්‍රේමයක්.!

මේ ගස
ඉතා නාඹර පාටය
විසල් බඳ හරි සීරුය
තනිව ඉන්නා ගානය

මුල් පොකුර
මහපොලව දතකාගෙන
ගැඹුරටම අත දාගෙන

හිස මුදුන අතු අගින්
ආලයට මල් පූදින
තාලයට මදනල එන
මාලයට මල් හලමින

කෙවිලියෝ, රන ගිරවියෝ
කැකුළු හොට පිරි මැදමැද
ගස රවට්ටන තාලය
ගසට නෑසෙන ගානය
ගස නිසොල්මන් පාටය

හදිසියේ
අනාරාධිතව පැමිණිය
පුංචි කොට්ටෝරු ධේනුව
තියුනු දෙතොලින් ගස සිප
ඔය කරන දේ නාකය





පුරුෂ.

"කිසිකෙනෙක් කියල දුන්නෙ නෑ පිරිමි කියන්නෙ ජංගි වගේ දෙයක් කියල. ටික දවසකට පස්සෙ සේදුවට යන්නෙ නැති කහපාට හිටිනව,බුරුල් වෙනව,කොහෙත්ම නොහිතන වෙලාවක ගැලවිලා වැටෙනව."

_සමර විජේසිංහ, සේදී ගිය පාට_
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

සඳ.!
නුඹ
පුරුෂ ලිංගය

භ්‍රමණ පරිභ්‍රමණ 
කාල සම උන
එකම මුහුනත
සැමට සැමදා පෙනෙන

සීත කැටිගැසුන
අඳුරු දිවි අඩ
කිසිවෙකුත් නොදකින
කිසිවෙකුත් නොපතන,
සඳ !
නුඹ පුරුෂ ලිංගය

මැටි පිලේ සුදෝවුන්

පුත !
රම්‍ය
සුරම්‍ය
සුභ
මාලිගා තුන
නුඹ හට නැතිය
පොල් අතු ගෙපැල
හීනි පොදයටත් තෙතය
එහෙයින්
යලි හෙවිල්ලන තුරු
නුඹට යනු බැරිය


පුත නුඹ බිරිය
ඔබ අබිනික්මනෙන් පසු
කසාවත් අදිනු නැත
හිස මුඩු කරනු නැත
එහෙත් ඇය
නිරාහාරව
සෝ කඳුළු මැද
දෙදරුන් රකිනු ඇත.
ඉදින් ඇය
නුඹේ පෙරමගට
දරුවන් එවනු නැත


පුත නුඹේ මෑණියෝ
නුඹ ඉපිද සත් දිනෙන්
මිය ගියේ නැත
ඇය තවම රෝගීව
ඔත්පලව වැතිර ඇත.
නුඹ නිරාහාරව
තවුස්දම් පුරන විට
විමුක්තිය සොයන විට
ඇය නුඹව සොයාවිත්
වියලි කුස පිරෙන තුරු
කෘෂ ළැමින්
නුඹට කිරි පොවනු ඇත
ඉදින්, නුඹ හට
දුෂ්කරක්‍රියා කළ නොහැක


පුත නුඹව
නේරංජනාවෙන් එතෙර කර
ළය පැලී මියෙන්නට
ජවාධික අසෙකු නැත
එහෙයින් නුඹ
ගඟ තරණයේදී
පතුලටම ගිලෙනු ඇත


පුත.!
විමුක්තිය සොයනු මැන
අප අතැර නොයනු මැන