_____________________

colorful ලෝකයේ black & white කවි...
Showing posts with label මැටි පිලේ සුදෝවුන්. Show all posts
Showing posts with label මැටි පිලේ සුදෝවුන්. Show all posts

Wednesday, July 20, 2011

මැටි පිලේ සුදෝවුන්

පුත !
රම්‍ය
සුරම්‍ය
සුභ
මාලිගා තුන
නුඹ හට නැතිය
පොල් අතු ගෙපැල
හීනි පොදයටත් තෙතය
එහෙයින්
යලි හෙවිල්ලන තුරු
නුඹට යනු බැරිය


පුත නුඹ බිරිය
ඔබ අබිනික්මනෙන් පසු
කසාවත් අදිනු නැත
හිස මුඩු කරනු නැත
එහෙත් ඇය
නිරාහාරව
සෝ කඳුළු මැද
දෙදරුන් රකිනු ඇත.
ඉදින් ඇය
නුඹේ පෙරමගට
දරුවන් එවනු නැත


පුත නුඹේ මෑණියෝ
නුඹ ඉපිද සත් දිනෙන්
මිය ගියේ නැත
ඇය තවම රෝගීව
ඔත්පලව වැතිර ඇත.
නුඹ නිරාහාරව
තවුස්දම් පුරන විට
විමුක්තිය සොයන විට
ඇය නුඹව සොයාවිත්
වියලි කුස පිරෙන තුරු
කෘෂ ළැමින්
නුඹට කිරි පොවනු ඇත
ඉදින්, නුඹ හට
දුෂ්කරක්‍රියා කළ නොහැක


පුත නුඹව
නේරංජනාවෙන් එතෙර කර
ළය පැලී මියෙන්නට
ජවාධික අසෙකු නැත
එහෙයින් නුඹ
ගඟ තරණයේදී
පතුලටම ගිලෙනු ඇත


පුත.!
විමුක්තිය සොයනු මැන
අප අතැර නොයනු මැන