_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, March 21, 2012

එක් සත්‍ය කතාවක්.. .

ස්ථානය:-
කොළඹ නගරයට නුදුරු තැනක්

දිනය:- 
2010 පොසොන් මස දිනයක්

වේලාව:- 
නැවතී ඇත

මුඛ්‍ය චරිත:-
තමන් මනමේ කුමරු යැයි සිතූ තරුණයෙක්;
ඒ අනුව, කුමරිය සහ වැදි රජු

මෙතෙක් කතාව:- 
කුමරු අත අසිපතක් නැත. වැදි රජු පෙර සූදානමින් සැගවූ කඩුවක් මැයි මාරා ගස් බෙනයකින් ගෙන කුමරිය අතට දෙයි. සිදුවීමට යන දේ වලක්වාගැනීමට නොහැකියෙන් කුමරු නිසලව සිටී.
කුමරිය බොහෝ සෙමෙන්, ඉතා මෘදු ලෙස කුමරු හට අසිපතින් අනී. වේදනාව අඩුකරනුවස් ඇය කුමරු හට සඳකිදුරු දා කවෙහි කවි ගායනා කරයි. කුමරු සෙමෙන් දෑස පියාගනී. වැදිරජු ඉකිබිදී. කුමරිය නිහඩව සිටී.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
(පැය 13කට පසු)

ඔහු මැරුණෙ නැත
කඩු පහර
ලේ පීලී ගැස්සුවද
සිහිය තොර වූ මිසෙක
මියගියේ නැත

කුමරිය
වැදි රජු ද සමඟින
සිරුර හැරදා
ඈත ගිය පසුව
සිහින් පොද වැසි
වැටී මුහුනට
මදින් මද
සිහි ලැබේ කුමරුට

සුරතින් වසාගෙන කඩුවෙන් කැපුණු තැන
ඩෙනිමෙන් ඉරාගෙන පටියක් සීරුවට
වෙලා තුවාලය නවතා ගලන ලෙය
කුමරුන් ගොඩවුනා දුර යන බසයටක 

අසංස්කෘතිකයාගේ කවිය

මම
ඔබව
සිපගනිමි


ඈත් මෑත් බලා
කිසිවකුත් නොදකිනා ලෙස නොව
දෙනෝ දාහක් සෙනඟ මැද
බොහෝ උන් ඇස ගැටෙන ලෙස


ලැජ්ජා නොවනු මැන
ඒ සියළු මිනිසුන්
තවත් පියවර පහක් ගියතැන
අපව අමතක කරනු ඇත
නොමැති නම්
නොදුටු ලෙස සිටිනු ඇත

Sunday, February 26, 2012

අබිනික්මන...

යසෝදරා !
මේ නුවර අතහැර
අපි යමු ඈත ගමකට

මේ රම්‍ය මාලිගය
සිරගෙයක් වගෙයි මට
ගී සින්දු ගායන
රැඟුම් නෙක නාටක,
සුදු අතුල බිත්ති මත
පුස් ගදක් දැනේ මට

තාත්තා
දැන් ඔහොම කීවට
කියාවී පසුවට
"මේ ගේ බාලයට"
ඇරත්
ඒ තමයි පිළිවෙල

දන්නවනේ යසෝදරා !
මගේ ඇල්මක් නොමැත ඒවට
ඉඩකඩම් ගේ දොර
බැමි පමණි සසරට
තවත් කල්පයක්
ඉපිද මැරෙණට

ඉතින් අපි යමු ඈත ගමකට
කන්ථකත් දක්කගෙන.
ඡන්නවත් එක්කගෙන..
පුතාවත් වඩාගෙන...

Thursday, February 2, 2012

ඕ සිතා නම් විය..

දුටු මතින් මා හැගුම් මෝරනා
රැවුල සිදදාලන්න රාවණා

පතිනියකි මහිමි හා තුටුවුණා
වෙන අයෙකු සිහිනෙනුදු නොදකිනා

රාම නෑ දැන් මෙතැන මා අසා
නුඹය දෑන් ගැටෙනුයේ මා ඇසා

පතිනි බව සිත් පුරා රකිමිනා
ඒ නමුත් නුඹ වතින් මත්වුනා

දින ගනන් නුඹම හා ගතවෙනා
මා නෙතට නුඹ කෙමෙන් හුරුවෙනා

දුටු මතින් මා හැගුම් මෝරනා
රැවුල සිදදාලන්න රාවණා


ඇන්ටිගනී

සදාදරණීය සොයුරිය !
දේසද්‍රෝහීව මියගිය
පොලිනියස් නොවේ මම


එක්දහස් එක් කලෙක
ලේ ගැලූ ඉල් මහෙක
රතු කමිස ඇගලුයෙන්
නව ලොවක් පැතූයෙන්
පන්සලේ මායිමේ
නළලිඳේ බැඳදමා
හෙණ හඩින් වෙඩිතබා
හිස් කබල පිපිරවූ
කිසිවෙකුත් නාදුනන
මළ සිරුරකිය මම


තවත් සුළු මොහෙතකින්
කාකයන් ඇදී එයි
කැනහිලුන් ඉරා කයි
ගිනිතබා දවාලයි


සොයුරියේ සොයුරියේ !
උන් ඇදී එන්න පෙර
එදා මෙන් නැගීසිට
නොමළ මළ සිරුර මත
දමනු මැන පස් මිටක්

Wednesday, December 14, 2011

කොල හැලුන වසන්තය...

වසත් කාලය එලඹෙත්ම
ගම්පාලු කුරුල්ලෙක් පැමිණ
අළුතින්ම
දළු දම දමා සිටි මට
කීය රහසක්
කනටකර නුඹ ගැන

ඉනික්බිති
කියා අහවරව ඒ රහස
පියඹා ගියා ඌ ඈතකට
මෑත අතවනන වසන්තය
රහස නොදැනම උදාවිය

තරු නිවා රහසේම
සඳක් බැබලුනි තනියේම
රහස් බස් ඇසු හිතගාව
වසත් ලා දළු හැලුනේය

Saturday, December 10, 2011

කදා වලල්ලක් සහ අත් තුනක්...

ප්‍රේමය
තොරොම්බල් කර
සේරවාණිජ
නික්මින

ඇය
අහිමිවූ රන් තැලිය ගැන
සිතා ළතවෙනා'තර
මම
බෙලෙක් තැටියක
ප්‍රේමයේ පිළුණු බත
වලඳමිය...

Monday, December 5, 2011

කමටහන

මම
පාත්‍රය අතට ගත්
නන්ද

නින්ද
පාට එළි දල්වාන
හැම රැයම වනසාය

කල්‍යාණිය
නුඹේ රුව
ලාටු මෙන්
සිතෙහි තාවරව
මා
සසර
රදවාය

Sunday, December 4, 2011

චෙක් මේට්



අරුනැල්ල
වැටෙනවිට
දුටිමි
සුදෝ සුදු චාලිද්දරය
හා
මා අසල
නිදන ඇය

තවත් සුළු මොහොතකින්
මදා'ඳුර මැකෙනු ඇත

Thursday, December 1, 2011

සුළඟ. . !

පෙම් උයන පිස එන
සල්ලාල මඳ සුළඟ
පෙම්වතෙකු අතගත්
යුවතියක කෙහෙරැල්
සලා දඟකාර විලසට 
ඉනිදු නොනැවතී
මුදු සේල
තබා සිරකොට බඳට
ඈ ගතෙහි
තුරුණු හැඩ
මා දෑස අබිමුව
වෙන් වෙන්ව දක්වාය

සුළඟ. . !
පෙර දවස
මා සුරත ගෙන
මේ උයන් තීරයෙම
පෙම්වත්ව ගතකල
ඈ ගතෙහි
වැස්ලීන් සුගන්ධය
මට හොරා
තවකෙකුට ගෙනගියේ
නුඹ නොවෙද ?

Wednesday, July 20, 2011

වරම්

දැං 
දවස් දෙක තුනක හිට
හන්දියේ 
ටී රූම් එක ලඟ
හැමදාම ඇවිත් හවසට
'මල්ලී..!
චිකන් කොත්තුවක්, පාර්සල් '
කියන්නෙක් ඇත

කොත්තුව
සිලි බෑග් එකක දාගෙන
යන්නෙත්
අපේ ගේ දෙසට

අද හවස
එන මඟ රැක සිට
වැටුනා මම
කතාවට

'අයිය මේ කිට්ටුවද?
මූන හුරු නෑ එච්චර'
මගේ ප්‍රශ්නෙට
ඇඹරුනා ඔහු ලැජ්ජාවට

'ඇයි මල්ලිට මම
බැරිද අඳුනන්නට?
මල්ලිලගෙ වත්ත පාවුල
හල්මිල්ල ගහේ ඉන්න
රුක් දෙවියනෙ මම '

මං
අන්දකයිප්පු විය
'අනේ මගෙ දෙයියෝ
මේ මොකද ,
කිව්වනං හැමදාම මම
දේව දානයක් දෙන්නැද්ද ,
අනික ඉතිං
අපි පිට මිනිස්සුද..
වේලක් ඇර වේලක් හරි
කාල සන්තෝසෙන්
ඉන්න බැරිද '

'අනේ මංදා 
මං හින්ද කරදරේ මල්ලිට
මගෙනුත් 
කෙරෙන්න දෙයක් හෙම ඇත්නම්
කියන්න '
දේව මුඛයෙන්
වචනය පැන්නේය

'අනේ දෙයියෝ
ඔය ඉන්න ගහට
පෝමිට් එකක් දාල
දැං මාස ගානක්
මොකක් හරි ගුලියක් උඩදාල
ඒක ඉක්මං කර දෙන්න '

කුරුසගත ප්‍රේමයක් (හෝ දෙකක්)

රත් මලින් සරසා
සූදානමින්
කල්වාරි කඳු මුදුන
කුරුස දෙක කරතබාගෙන
වැටි වැටී අපි
ඒ දෙසට

තැන තැන
මිනීමල් පිපී ඇත
එමල් මත
ගිජු ලිහිණියන්
පැණි උරත

අපම සිටුවා කුරුස
ස්වයං සූදානමකය
ඇණ ගැසීමට
උනුන් මුහුනට මුහුන
කුරුසගත වූවෙමු
අප දෙදෙන

..... .... ..... .... .... .... .....

දැන්
කල්පයක් ගෙවී ඇත
මුහුනට මුහුන
කුරුසගත වූ පවෙන්
දෑස් දෙස බලාගෙන
පණ පිටින්
අපි තවම

ඩීෆ්‍රීසර්ගත හැඟුමන්

මම
අධි ශීත කුටියක
හිමායන නින්දකට
පත්ව ඇති මොහොතක,
සියුම් ගින්නකින් පෙලිපෙලී
යහන මත 
වැතිරිලා නුඹ

සියුම් අනුරාඟිනිය.!
එවන් මොහොතක
ලං නොවනු මා වෙත
ගිනි රස්නයට
පහව ගියහොත් සිසිලස
පිබිදේවි
නින්දෙන් මම

අහක යන නයෙක් සහ රෙද්ද ඇදි ගැහැණියක්

ගැහැනියක්
මඟ වැටී තිබු
පුරුෂ නිමිත්තක් අහුලාන
ආදරෙන්
රැක බලා ගත්තාය

මතු දිනෙක
එයින් ම
සිහිසන් වනතුරු
දූෂණය වීමට
සැකයක්
පවතිද්දීම

ලිස්සන ගහ

මම
ග්‍රිස් නාගෙන
ගහේ පාමුල

ඇය
මුදුනටම වී
කොඩිය වන වන