කළු වලාවෙන් වැසේ
මඟ කියන
ඇසළ සඳ
කුටිය කොන
පහන් සිළ
අඳුර දුරු කරන්නට
බිලිඳු බිය නොවන්නට
මෑත්කර බලමි
තිර පට,
ඈ
කුඩා පුතු
ළමැඩියෙහි හොවාගෙන
සීරුවට
තන පුඩුව
සිඟිති මුවෙ තබාගෙන
ගෙවුනු අඩ දිනට පෙර
දරු වැදූ මවකි ඇය
වෙහෙස
රිදුම් දෙන ඇඟ මස
ගෙන ගොසිනි
ඈ ගැඹුරු නින්දකට.
මා සොඳුර,
බෝ විඩා ඇති නුඹට
තබමි අත
ඇගේ නළලත
හිස නමා
සිඹිමි වත
රිදෙන සිත
බිහිකරන කඳුළු කැට
සඟවගමි
නොවැටෙන්න වුවන මත
රිදුම් දෙයි ඇගේ ගත
විඩාවකි ඇගේ වත
හඬන පුතු - දෝතට ගනිමි
පුතු තෙමූ පිළි - අස් කරමි
උර සළුව ගෙන - ඇඳ එලමි
පුතු තබමි
නැළවෙනාතුරු - පිරිමදිමි
මැඳුර අස, අඳුර මැද
ඇසේ මට
කන්ථකගෙ සුසුම් හඬ
අසල තැන
නිදන ඇය
වෙහෙස මැද
තනිවමය
ඡන්න !
සඳ වැසී වලාවෙන්
අපට මඟ නොපෙනේවි
ගිහින් සැතපෙන්න නුඹ
සඳ යළිත් පායාවි
හරිම අගෙයි
ReplyDelete