_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

සෙල්ලං ගෙවල්

මතකද.?
අපේ සෙල්ලම් ගෙදර
අපි පැටි දවස්වල
වැට මායිමේ හැදුව

කෝටු තුන හතරකට
පොල් අතු හෙවිලිකර
වටේට සාරි ඇද
පන් පැදුර උඩ
තවත් සාරියක් ඔතාගෙන
රෙදි බෝනික්කෙකුත් නලවමින්
හිටියෙ නුඹ

ඔව්, රෙදි බෝනික්කෙක්..!
ඒ අපේ දරුව
ඔයාගෙයි මගෙයි,
එහෙමයි කිව්වෙ අපි
තිබ්බොටු තං ගැටෙන්
කිරි දිදී නුඹ හැදූ
අපේ දරු පැටිය

ආරංචියි සුලෝචනා.!!
දැං ඉන්නවලු නේද
ඇත්තටම දරු පැටව්?
කිරි දිදී නුඹ
වඩනවා ඇති උන්...
ඉතින් සංතෝසයි
ජීවිතේ ඔහොමයි

මමනම් ඉතින් තාමත්
එදා වාගෙමයි
කොස්කොල සල්ලිමයි හොයන්නෙ
සාරියකුත් නෑ
රෙදි බෝනික්කොත් නෑ
ඒත් එහෙමයි කියල
වැඩි දුකකුත් නෑ

හවසට
වැඩ ඇරිල ආවම
ඇදේ ඇලවෙලා
සෙල්ලං ගෙවල් දානව 
හිතෙන් තවම මං...
බෝනික්කො පැටියෙකුත් 
ඉන්නවා ඒකෙ
තිබ්බොටු තං ගැටෙන්
ඌට කිරි දී වඩන
සාරියක් ඇදි කෙනෙකුගේ
උකුලේ නැලවෙමින්



No comments:

Post a Comment