දවස් දෙක තුනක හිට
හන්දියේ
ටී රූම් එක ලඟ
හැමදාම ඇවිත් හවසට
'මල්ලී..!
චිකන් කොත්තුවක්, පාර්සල් '
කියන්නෙක් ඇත
කොත්තුව
සිලි බෑග් එකක දාගෙන
යන්නෙත්
අපේ ගේ දෙසට
අද හවස
එන මඟ රැක සිට
වැටුනා මම
කතාවට
'අයිය මේ කිට්ටුවද?
මූන හුරු නෑ එච්චර'
මගේ ප්‍රශ්නෙට
ඇඹරුනා ඔහු ලැජ්ජාවට
'ඇයි මල්ලිට මම
බැරිද අඳුනන්නට?
මල්ලිලගෙ වත්ත පාවුල
හල්මිල්ල ගහේ ඉන්න
රුක් දෙවියනෙ මම '
මං
අන්දකයිප්පු විය
'අනේ මගෙ දෙයියෝ
මේ මොකද ,
කිව්වනං හැමදාම මම
දේව දානයක් දෙන්නැද්ද ,
අනික ඉතිං
අපි පිට මිනිස්සුද..
වේලක් ඇර වේලක් හරි
කාල සන්තෝසෙන්
ඉන්න බැරිද '
'අනේ මංදා
මං හින්ද කරදරේ මල්ලිට
මගෙනුත්
කෙරෙන්න දෙයක් හෙම ඇත්නම්
කියන්න '
දේව මුඛයෙන්
වචනය පැන්නේය
'අනේ දෙයියෝ
ඔය ඉන්න ගහට
පෝමිට් එකක් දාල
දැං මාස ගානක්
මොකක් හරි ගුලියක් උඩදාල
ඒක ඉක්මං කර දෙන්න '